|
අම්බලන්ගොඩ ප්‍රදේශය පිළිබඳ ඓතිහාසික තත්ත්වය
අම්බලන්ගොඩ ප්‍රදේශය පිළිබඳ ඓතිහාසික තොරතුරු බොහෝමයක් හමු වන්නේ ක්‍රිස්තු වර්ෂ 18 හා 19 ශත වර්ෂ වල පමණ දී ය. පෘතුග්‍රීසීන් විසින් බලන්ගලේ (BALANGALE) ද, ලන්දේසීන් විසින් අම්බලන්ගොට්න් (AMBALANGOTTEN) හා ඉංග්‍රීසීන් විසින් අම්බලන්ගොඩ්ඩේ (AMBALANGODDE) යනුවෙන් හඳුන්වූ අම්බලන්ගොඩ, අම්බලම්ගොඩ, අම්බලංගොඩ යන තුන් ආකාරයෙන්ම හැඳින්වේ.
අම්බලන්ගොඩ පිළිබඳව ලැබෙන පැරණිතම යැයි සැලකෙන ලිඛිත සාක්ෂි හමුවන්නේ “ත්‍රි සිංහලයේ කඩයිම් පොත” හා “ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොත”යන ග්‍රන්ථයන්ගෙන්ය. මේවා සිංහල ප්‍රදේශ සීමාවන් විස්තර කරලීම සඳහා මහනුවර යුගයේ දී හමුවන වැදගත් සාක්ෂීන්ය. ත්‍රී සිංහලයේ කඩයිම් පොතට අනුව සඳහන් වූ “අඔලංගොඩ රට” යන්න වර්තමානයේ අම්බලන්ගොඩ වන්නට ඇතැයි ඒ පිළිබඳව විමර්ශනයක යෙදෙන ආචාර්ය එච්.ඒ.පී.අභයවර්ධන මහතා පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොතේ රුහුණුට අයත් රටවල් හතළිස් දෙකක් ගැන කියවේ. එහි “ඇඹලවය” යන ප්‍රදේශයක් ගැන සඳහන් වේ. ඇඹල යනු පුරාණයේ “අම්බලම” හැඳින්වීම සඳහා යොදා ගන්නා ලදි.
අම්බලන්ගොඩ ග්‍රාම නාමය බිහිවීම පිළිබඳ අදහස් කිහිපයක් පවතී. ඉන් එක් ප්‍රචලිත අදහසක් අනුව කියැවෙන්නේ ආන් - බලන් - ගොඩ > - අම්බලන්ගොඩ වශයෙන් බිඳී ආ බවයි. ඒ පිළිබඳව සඳහන් කතා පුවතක් වන්නේ ඈත අතීතයේ මුහුදු ගිය යාන්ත්‍රිකයන් පිරිසක් මුහුදේ අතරමංව සිටිය දී හදිසියේ ගොඩබිමක් දැක ආං - බලං - ගොඩ යැයි කෑ ගැසූ බවත් අනතුරුව එම බිම් ප්‍රදේශයට එම නම ලැබුණ බවත් පසු කාලයක දී එය අම්බලන්ගොඩ නමින් ව්‍යවහාර වූ බවත් කියවේ.
අම්බලන්ගොඩ ග්‍රාම නාමය පිළිබඳ ප්‍රචලිත නොවූ තවත් අදහසක් වන්නේ ආන - බලන - ගොඩ ලෙස පත්වී ඇති බවයි. එහිදී පෘතුගීසීන් පාලන කාලයේ දී අම්බලන්ගොඩ අවට ප්‍රදේශයේ කුරුඳු වගාව සිදු කර ඇති බවත්, වගා කරන මිනිසුන් බාරව සිටියේ බැද්දේ විදාන නම් අයෙකි බවත් හෙළි වේ. ඔහු විසින් බලා ගත් ප්‍රදේශය හෙවත් ආන ( විදාන නැමැති අයගේ අග කොටස වන බලනගොඩ යනුවෙන් පැමිණි පහසුව සඳහා අම්බලන්ගොඩ යනුවෙන් ව්‍යවහාර වූ බව කියැවේ.)
අම්බලන්ගොඩ ග්‍රාම නාම ප්‍රභවය පිළිබඳව දැක්වූ මේ අදහස් දෙකම පිළිගැනීමට අපහසුය. පළමු අදහස පිළිගැනීමට අපහසු හේතුව වන්නේ ඒවා ඉතාම දුර්වල පදනමක් මත ගොඩනැඟී තිබීමයි. මුහුදේ අතරමං වූවන්ට ඕනෑතරම් ගොඩබිම් දකින්නට ලැබෙන්නට ඇත. ඒ අනුව වෙරළාසන්නයේ සෑම බිම් කඩකටම මේ නම භාවිතා කරන්නට තිබුණි.
දෙවන අදහස පිළිගැනීම ද තර්කානුකූල නැත. පෘතුග්‍රීසීන් පැමිණීමට පෙර සිටම මේ ප්‍රදේශයේ අම්බලන්ගොඩ රට යනුවෙන් කඩයිම් පොත්වල ව්‍යවහාර වී ඇති හෙයිනි. වඩාත් ප්‍රචලිත පිළිගැනෙන අදහස වන්නේ අම්බලන්ගොඩ ග්‍රාම නාමය එම ප්‍රදේශයේ තිබූ අම්බලම් හේතු කර ගෙන නිර්මාණය වූ බවයි. විශේෂයෙන්ම සංස්කෘතික ග්‍රන්ථයන්හි විශ්‍රාම ශාලා, මඨ ශාලා, උත්තර ශාලා, නමින් හඳුන්වන්නේ අම්බලම් ය. ඊට අමතරව සිංහල ග්‍රන්ථවල මඨ සාලා, අම්බලම්, ඉසුඹුහල්, ඇඹල යන නම්වලින් ද අම්බලම් හඳුන්වා දී ඇත. ඒ අනුව කඩයිම් පොත්වල අම්බලන්ගොඩ රට යන්නේ ද අදහස අම්බලම් රාශියක් ඇති ප්‍රදේශය බව අපට පෙනී යයි.
ඊට අමතරව සාහිත්‍ය පොත පත ඇසුරින් ද අම්බලන්ගොඩ පුරවරය පිළිබඳව ඓතිහාසික කරුණු රාශියක් ලබා ගත හැකිය. එහිදී ගිරා, පරවි, කොවුල් හා මෑතක දී රචිත යැයි සැලකෙන නිල් ළිහිණි වැනි සංදේශ කාව්‍යයන්වලින් ද ඓතිහාසික තොරතුරු ලබා ගත හැකි වේ.
ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාලනය කළ රජු දවස කළා යැයි සැලකෙන ගිරා සංදේශයෙ හි වැලිතොටට පැමිණෙන ගිරවාට ලගින ලෙස පවසන්නේ අම්බලමකය.
ආයතනයේ පරිණාමය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පරිපාලන විමධ්‍යගත කිරීමේ සංකල්පය යටතේ දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය එම්. එස්. අමරසිරි මහතාගේ ආරාධනයෙන් සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ බුද්ධික කුරුකුලරත්න මහතාගේ අනුග්‍රහයෙන් 1992 ඔක්තෝබර් 11 වන දින ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය අමරා පියසීලි මහත්මියගේ සහභාගීත්වයෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් අශෝක ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා 2006 නොවැම්බර් 22 වන දින යාවත්කාලීන කරන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
|